බදුගාස්තු හා වරිපනම්

වරිපනම් අය කිරිම

ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශය සඳහා එකී ප්‍රාදේශීය සභාව විසින් ද කිසියම් මහා නගර සභාවක් හෝ නගර සභාවක් විසින් ද ස්වකීය බල ප්‍රදේශය තුළ ගාස්තු අය කිරීමකින් තොරව සපයනු ලබන සේවාවන් සඳහා දරනු ලබන වියදම් ප්‍රතිපූරණය කර ගැනීම පිණිස පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව එකී පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අනුපාතයක් යටතේ අය කරන ගාස්තුව, වරිපනම් යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි ප්‍රදේශයක් ඇතුළත සේවා සැපයීමට දරනු ලබන මුළු වියදම සහ එම ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික වටිනාකම්වල
එකතුව අතර අනුපාතය (ප්‍රතිශතය), එවැනි යම් දේපළක වාර්ෂික වටිනාකමෙන් ගුණ කිරීමෙන් ගණනය කරන මුදල එම දේපළ වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික වරිපනම වනු ඇත. ඉහත ආකාරයෙන් පළාත් පාලන ආයතනය විසින් මෙම ප්‍රතිශතය වාර්ෂිකව ගණනය කර තීරණය කරනු ලැබේ. වරිපනම් යනු බද්දක් නොවේ.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් එම ආයතනවලට නියම කර ඇති කාර්ය හා කර්තව්‍යය කිරීමේ දී හා ඉටු කිරීමේ දී දරනු ලබන වියදම ප්‍රතිපූරණය කර ගැනීමට – ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවලට වරිපනම් නියම කර අය කර ගැනීමට බලය පැවරී ඇත.

අදාළ වීම

  • කිසියම් පළාත් පාලන ආයතනයක වරිපනම් අය කිරීමට යටත් ප්‍රදේශයක පිහිටා ඇති හා එම ආයතනය විසින් තීරණය කරනු ලබන යම් නිශ්චල හෝ නිශ්චල දේපළ වර්ගයකට දේපළක් විය යුතු ය.
  • එකී යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු මෙම වරිපනම් ගෙවීමට යටත් විය යුතු ය. (දේපළෙහි පදිංචිකරු එකී දේපළෙහි අයිතිකරු වුව ද නොවුන ද එහි පදිංචිකරු – සභාව විසින් සපයනු ලබන සේවාවෙන් ප්‍රයෝජන ලබන තැනැත්තා – වරිපනම් ගෙවීමට යටත් තැනැත්තා විය යුතු ය)

වරිපනම් ගෙවීම

  • පළාත් පාලන ආයතනය විසින් දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට නිකුත් කරනු ලබන තක්සේරු නිවේදනයෙහි දැක්වෙන මුදල ගෙවිය යුතු ය.
  • තක්සේරු නිවේදනය බාරදෙන අවස්ථාව වන විට කලින් ගෙවිය යුතු වරිපනම් හිඟයක් වේ නම්, එම මුදල කොපමණ ද යන්න එහි සඳහන් කර ඇත. එම හිඟ මුදල ද පියවිය යුතු ය.
  • මෙම වාර්ෂික වරිපනම එකවර හෝ කාර්තු පදනමෙන් ගෙවීමට අවස්ථාව ඇත.
    • වර්ෂයේ පළමු මාසය ඇතුළත සමස්ත වර්ෂය සඳහාම ගෙවියයුතු මුදල ගෙවන්නේ නම් 10%ක ව්ට්ටමක් හිමිවේ.
    • කාර්තු අනුව ගෙවීම් සිදුකරන්නේ නම්, එක් කාර්තුවකට අදාළ මුදල එම කාර්තුවේ පළමු මාසය තුළම සිදු කරන්නේ නම් 5%ක වට්ටමක් හිමි වේ.
      (ඉහත 5% හා 10% වට්ටම ලබා ගත හැකි වන්නේ වර්ෂය/කාර්තුව ආරම්භ වීමට පෙර පැවති හිඟයක් වේ නම්, එම හිඟය ද ඒ අවස්ථාවේ දී ම පියවන්නේ නම් පමණි)
    • ගෙවීම් පැහැර හැර ඇති විට, සෑම කාර්තුවක් අවසානයේදීම 15%ක වරෙන්තු ගාස්තුකට/දඩ මුදලකට යටත් වේ.

වරිපනම් ගෙවිම

අදාළ වරිපනම් ගෙවිම සඳහා සභාව විසින් නිකුත් කරන ලද තක්සේරු නිවේදනය හෝ අදාල වරිපනම් දේපළෙහි හැදුනුම් අංකය (Property ID) හෝ වරිපනම් අංකය ඉදිරිපත් කර ගෙවිම් සිදු කල හැකිය.

දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම.

අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර, පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

  • අයදුම්පත්‍ර ගාස්තුව රු.500.00

ඉමදුව බල ප්‍රදේශයේ වරිපනම් සීමාව තුළ ඇති දේපලවල වරිපනම් නම් සංශෝධනය ගැනීම සඳහා පහත සඳහන් ලිපි ලේඛන සභාව වෙත ලබා දිය යුතුය.

වරිපනම් නම් සංශෝධනය සඳහා අවශ්‍ය ලේඛන.

  • වරිපනම් ලේඛනයේ නම් වෙනස් කිරීමේ AT අයදුම්පත්‍රය
  • ඉල්ලිම් ලිපිය
  • අවසාන පැවරිමට අදාල ඔප්පුවේ සහතික කරන ලද පිටපත් 02ක්
  • ඔප්පුවට අදාල පිඹුරු පතේ සහතික කරන ලද පිටපත් 02ක්
  • ලේඛන ගත අයිතිකරුගේ සිට දේපළ පැවරිම දැක්වෙන පෙලපත් සටහන ( අවම වශයෙන් වසර 30 දක්වා ලේඛනගත අයිතිකරු සඳහන් නොවන අවස්ථාවක ලේඛන ගත අයිතිකරුට, අදාල බිම් කොටසේ අයිතියක් නොමැති බවට වසර 30 ක පෙලපත අවසානයේ නොතාරිස් සනාථ කර තිබිය යුතුය.)
  • නව අංකයක් ඉල්ලුම් කරන අවස්ථාවක යෝජිත දේපළ දෙපස වරිපනම් අංක හා පාර පැහැදිලිව සටහන් කරන ලද දළ සැලැස්මක්

 

ව්‍යාපාර බදු පැනවීම

බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභාවලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාර මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.

කර්මාන්ත බද්දට යටත් ස්ථානයක් නොවන ස්ථානයක් වන අවස්ථාවක සහ අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට නියම කර නොමැති හා සේවා සැපයීමේ කාර්යයක නියුක්ත වන තැනැත්තකු මේ බද්ද ගෙවීමට යටත් වේ.

අය කරනු ලබන බදු මුදල පහත පරිදි වේ.

අංකය බද්ද අදාළ වන වර්ෂයට පෙර වර්ෂයේ ව්‍යාපාරයෙන් ලත් ලැබීම් ප්‍රමාණය ගෙවිය යුතු බද්ද

රු. ශත

01 රු. 6000 නොඉක්මවන අවස්ථාවක නැත
02 රු. 6000 ඉක්මවන නමුත් 12000 නොඉක්මවන විට 90.00
03 රු. 12000 ඉක්මවන නමුත් 18750 නොඉක්මවන විට 180.00
04 රු. 18750 ඉක්මවන නමුත් 75000 නොඉක්මවන විට 360.00
05 රු. 75000 ඉක්මවන නමුත් 150000 නොඉක්මවන විට 1200.00
06 රු. 150000 ඉක්මවන විට 3000.00

 

වෙළඳ බලපත්‍ර ලබා ගැනීම

බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව, සුඛ විහරණය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට අදාළ කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම පළාත් පාලන ආයතනවලට පැවරී ඇති ප්‍රධාන කර්තව්‍යය වේ. බල ප්‍රදේශය තුළ පවත්වා ගෙන යනු ලබන වෙළෙඳාම් හෝ ව්‍යාපාර අතරින් මහජන සෞඛ්‍යයට, සනීපාරක්ෂාවට, පහසුවට හා සුඛ විහරණයට යම් ආකාරයක අහිතකර බලපෑමක් ඇති විය හැකි වෙළෙඳාම් හෝ ව්‍යාපාර විධිමත් කිරීම හා පාලනය කිරීමට අදාළ ව, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ, එකී යම් සභාවක් විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන යටතේ ඒ වෙළෙඳාම හෝ ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන ස්ථානය සඳහා එකී සභාවේ සභාපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයක් ලබා ගත යුතු ය. මේ කාර්යය නියාමනය කිරීම එකී සභාවේ වගකීම වේ.

සටහන: සභාව විසින් පිළිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථා ද, සභාව විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථා වශයෙන් සැලකිය යුතු ය.

  • හෝටල් ,ආපන ශාලා, මල් ශාලා ,රසකැවිලි නිශ්පාදන ,බේකරි ආදී ව්‍යාපාර වලට ලබාදෙනු ලබයි.
  • අයදුම්පත්‍රය ලබාගෙන ව්‍යාපාර හිමිකරු විසින් සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාව වෙත ලැබීමට සැලැස්විය යුතුය.
  • ආදායම් පරීක්ෂක,විෂය ලිපිකරු පරීක්ෂාවෙන් පසු ලේකම්ගේ නිර්දේශයෙන් අනුමැතිය සඳහා සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලයට යවනු ලබයි.
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අනුමැතිය ලැබුණු පසු අදාල වෙළඳ බලපත්‍ර ගාස්තුව ප්‍රාදේශීය සභාව වෙත ගෙවීමෙන් පසුව වෙළඳ බලපත්‍රය නිකුත් කරනු ලබයි.

අය කරනු ලබන බලපත්‍ර ගාස්තුව පහත පරිදි වේ.

ස්ථානයේ වාර්ෂික වටිනාකම                                                  බද්දේ ප්‍රමාණය

 

රු. 750.00 නො ඉක්මවන විට බද්ද, රු.     500.00

 

රු. 750.00 ඉක්මවන හා රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද,      රු.     750.00
රු. 1,500.00 ඉක්මවන විට බද්ද,                                                 රු.     1,000.00

 

ව්‍යාපාර හා කර්මාන්ත බලපත්‍ර ලබා ගැනීම

බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභාවලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.

යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර විකිණීම හෝ යම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය මිලට ගෙන විකිණීමේ කාර්යය කර ගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම කර නොමැති අවස්ථාවක, ඒ කර්මාන්තය නැතහොත් වෙළෙඳාම මේ බද්දට යටත් වේ.

  • ප්‍රදේශයේ සියලුම කර්මාන්ත හා ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් විසින් මෙම අයදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාවට ලබාදිය යුතුය.
  • ඉන්පසු ආදායම් පරීක්ෂකගේ පරීක්ෂාවෙන් පසු ලේකම් අනුමැතිය ලැබේ.
  • වාර්ෂිකව ගෙවිය යුතු කර්මාන්ත හා ව්‍යාපාර බදු ගාස්තුව ලිපි මගින් දැනුම් දෙනු ලැබේ.
  • අදාල ගාස්තුව ගෙවීමෙන් පසු ව්‍යාපාරය පවත්වාගෙන යාමට නීතිමය අවසර හිමි වේ.

අය කරනු ලබන බලපත්‍ර ගාස්තුව පහත පරිදි වේ.

ස්ථානයේ වාර්ෂික වටිනාකම බද්දේ ප්‍රමාණය

 

රු. 750.00 නො ඉක්මවන විට බද්ද, රු.     500.00

 

රු. 750.00 ඉක්මවන හා රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද,      රු.     750.00
රු. 1,500.00 ඉක්මවන විට බද්ද,                                                 රු.  1,000.00

 

අක්කර බදු අය කිරීම

බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, නිතිපතා හෝ ස්ථීර ව කෙරෙන ගොවිතැනකට යටත් ඉඩම් මත බද්දක් නියම කර අය කර ගැනීමට ප්‍රාදේශීය සභාවලට බලය පවරා දී ඇත. මෙම බද්ද අක්කර බද්ද යනුවෙන් හඳුන්වනු ලැබේ.

අදාළ අක්කර බදු අයකිරීම පහත පරිදි වේ.

(අ) හෙක්ටෙයාර් 01 ට නොඅඩු, එහෙත් හෙක්ටෙයාර් 05 කට අඩු වූ සෑම ඉඩමක් මත අදාළ වර්ෂය සඳහා රු.50 බැගින් වන වාර්ෂික අක්කර බද්දක් සහ,

(ආ) හෙක්ටෙයාර් 01 ට නොඅඩු, එහෙත් හෙක්ටෙයාර් 05 කට අඩු වූ සෑම ඉඩමක් මත අදාළ වර්ෂය සඳහා රු.50 බැගින් වන වාර්ෂික අක්කර බද්දක් සහ,

1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතට අනුව,

  • වර්ෂයේ පළමු මාසය ඇතුළත සමස්ත වර්ෂය සඳහාම ගෙවියයුතු මුදල ගෙවන්නේ නම් 10%ක ව්ට්ටමක් හිමිවේ.
  • කාර්තු අනුව ගෙවීම් සිදුකරන්නේ නම්, එක් කාර්තුවකට අදාළ මුදල එම කාර්තුවේ පළමු මාසය තුළම සිදු කරන්නේ නම් 5%ක වට්ටමක් හිමි වේ.
  • ගෙවීම් පැහැර හැර ඇති විට, සෑම කාර්තුවක් අවසානයේදීම 15%ක දඩ මුදලකට යටත් වේ.
ප්‍රචාරක දැන්වීම් පුවරු සඳහා අනුමැතිය ලබා ගැනීම

අදාළ ඉල්ලිම් ලිපිය, අදාළ ගාස්තු ගෙවිම් කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

අදාළ ගාස්තු අයකිරීම පහත පරිදි වේ

අනු අංක  

විස්තරය

මසයක් සඳහා       (සෑම වර්ග අඩියකටම) වර්ෂයක් සඳහා (සෑම වර්ග අඩියකටම)
01. බිත්තියක හෝ පුවරුවක ප්‍රදර්ශනය කරනු ලබන ඕනෑම ප්‍රචාරක දැන්වීම් සඳහා රු. 70.00 රු. 280.00
02. ලෑල්ලක් හෝ ආධාරයක් හෝ බැනරයක් හෝ කටවුට් මගින් ප්‍රදර්ශනය කරනු ලබන හෝ ගමන් කරන වාහනයකට සම්බන්ධකර ප්‍රදර්ශනය කරනු ලබන (චිත්‍රපට දැන්වීමක් හැර) ඕනෑම ප්‍රචාරක දැන්වීමක් සඳහා රු. 70.00 රු. 280.00
03. චිත්‍රපට  දර්ශන ප්‍රචාර සඳහා ප්‍රදර්ශනය කරන දැන්වීමක් සඳහා රු. 70.00 රු. 280.00
04. බිත්තියක හෝ පුවරුවක හෝ ලෑල්ලක හෝ ආධාරකයක් මඟින් ප්‍රදර්ශනය කරන ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් සඳහා රු. 100.00 රු. 350.00
05. ස්ථාවර පුවරුවක් සඳහා මාස 06ක් සඳහා රු.140.00 රු. 280.00
විනෝද බදු අයකිරීම

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත සිදු කරනු ලබන යම් විනෝද කාර්යයක් සඳහා තැනැත්තන් ඇතුළු කර ගැනීමට නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයකට සමාන මුදල් ප්‍රමාණයක් විනෝද බද්ද වශයෙන් නියම කර අය කර ගැනීමට පළාත් පාලන ආයතනවලට විනෝද බදු ආඥාපනතෙන් නෛතික බලය පවරා දී ඇත.      මේ යටතේ පළාත් පාලන ආයතනයක් විසින් අය කිරීමට තීරණය කොට නියම කරන ලද විනෝද බද්ද අමාත්‍යවරයා විසින් අනුමත කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ දින සිට ක්‍රියාත්මක වේ.

1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතේ දෙවන වගන්තියේ (1) වන උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඉමදූව ප්‍රාදේශීය සභාව, සභාවේ පරිපාලන සීමා ඇතුලත වූ ප්‍රදේශයෙහි පවත්වනු ලබන එකී , ආඥා පනතේ විස්තර කර ඇති යම් විනෝද කටයුත්තකට කරනු ලබන ගෙවීමකින් 15% (සියයට පහලවක) ට සමාන මුදලක් 2024 වර්ෂයේ සිට (2023/10/04 / 150 යටතේ) 15% ක විනෝද බද්දක් අය කරනු ලබයි. 1984 අංක 37 දරණ විනෝද බදු (සංශෝධන) පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව කටයුතු  කිරිමටත්, සිදු කරනු ලැබේ.

ඉඩම් විකිණීම මත බදු පැනවීම

ඉමදුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඇතුළත වූ යම් ඉඩමක් වෙන්දේසිකරුවෙකු හෝ ඔහුගේ සේවකයා හෝ අනු නියෝජිතයා විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ අන්‍යාකාරයකින් විකුණනු ලබන අවස්ථාවක, එම ඉඩම් විකිණීමේ ලත් මුදලින් 1% ට සමාන බද්දක් විකුණුම්කරු හෝ ඔහුගේ සේවකයා හෝ අනු නියෝජිතයා විසින් ඉමදුව ප්‍රාදේශිය සභාවට ගෙවිය යුතුය.

https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/imfooterlogo.png?fit=640%2C164&ssl=1
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/unnamed.gif?fit=168%2C60&ssl=1
අපව අමතන්න
ඉමදුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාව
සම්බන්ධ වන්න
AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2023/11/Capture12.png?fit=368%2C342&ssl=1
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.